Children Organization Lanka

Children Organization Lanka
Children Organization Lanka

Monday 26 April 2010

සල්ලි නැත්තං පයින් යන්න

මම දවසක් බස් ස්ටෑන්‍ඩ් එකේ කඩයක් ළඟ හිටගෙන හිටියා. අටේ පංතියේ වගේ නංගිලා දෙන්නෙක් කඩකාරයා ළඟට ගිහින් කිව්වා "බස් එකේ යන්න සල්ලි නෑ" කියලා. එතකොට මුස්ලිම් කඩකාරයා ගත් කටටම කිව්වා "සල්ලි නැත්තං පයින් යන්න" කියලා. මම ළඟට ගිහින් ඇහුවා "බස් එකට කීයක් ඕනෙද" කියලා. එයාලා කිව්වා "රුපියල් විස්සයි" කියලා. මම රුපියල් විස්සක් දුන්නා. පහුවදාත් ඒ නංගිලා දෙන්නා එතැනින් ගියා. මම ඇහුවා "බස් එකේ යන්න සල්ලි තියනවාද" කියලා. "සල්ලි තියනවා" කියලා එයාලා යන්න ගියා.

Monday 19 April 2010

ජංගම දන්සැල

මම ළමයින්ට පොත්, පෑන්, පැන්සල් අරන් දෙනවා. බස් එකේ යන්න සල්ලි දෙනවා. චොකලට් අරන් දෙනවා. ඇඳුම් පැළඳුම්, සපත්තු අරන් දෙනවා. කුරුණෑගල ටවුන් එකේ පාසල් වලට එන හැම ළමයෙක්ම මාව අඳුරනවා. මං ගැන දන්නවා. ඒ හිංදා කාටවත් බෑ මට ලෙඩක් දාන්න. මාව අමාරුවේ දාන්න කවුරු හරි කුමන්ත්‍රණය කළොත් එයාමයි අමාරුවේ වැටෙන්නේ. මම හරියට ජංගම දන්සැලක් වගේ. ඕනැම ළමයෙකුට දුටු තැන මගෙන් උදව් ලබාගන්න පුළුවන්. දුටුතැන සල්ලි ඉල්ලගන්න පුළුවන්. මට ප්‍රශ්නයක් ඇති උනොත් මාව බේරගන්න පාසල් ළමයි හතලිස්දාහක් මගේ වටේ ඉන්නවා.

Monday 12 April 2010

වතුරට දියවුනු ගවුම

මම ගිය සතියෙ කෙටි සංචාරයකට බදුල්ලෙ ගියා. ආපසු එද්දි "සෙකන්ඩ් ක්ලාස්" ටිකට් එකක් අරං කෝච්චියෙ ඉඳගත්තා.පැය බාගෙකට විතර පස්සෙ මම "තර්ඩ් ක්ලාස්" තියෙන පැත්තට ගියා. පුංචි දෙමළ නංගි කෙනෙක් අම්මත් එක්ක දොරක් ළඟ බිම ඉඳගෙන හිටියා. මම ඒ නංගිව අත් දෙකෙන් අල්ලලා නැගිට්ටවලා විස්තර ඇහුවා. අම්මයි දුවයි දෙන්නම ‍සිංහල දන්නෙ නෑ.

"කීයෙ පංතියෙද ඉන්නේ" මම ඇහුවා.

එයා දෙමළෙන් මොනවදෝ කිව්වා. ඊට පස්සෙ මම "පාඩෂාලෛ ඔන්රු, රෙන්ඩු, මූණු" කියලා කියනකොටම එයා කිව්වා "මූණු" කියලා. ඒ කියන්නේ එයා ඉන්නේ තුනේ පංතියේ. එයාගෙ ගවුම හෝදලාම දියවෙලා. හෙයා බෑන්ඩ් එක හොඳටම ගෙවිලා. සෙරෙප්පු දෙක ‍පොතු ගැල‍විලා. මම එයාට රුපියල් පනහක් දුන්නා. ඊට පස්සෙ කඩල කාරයෙකුගෙන් කඩල පැකට් එකක් අරං දුන්නා. එයාලා "ඔහිය" දුම්රිය ස්ථානයෙන් බැස්සා. මම එයාට ආයෙ කතා කරලා තව රුපියල් පනහක් දුන්නා. එයා අත වනලා යන්න ගියා.

ම‍ගේ අතේ ඉතුරු උනේ රුපියල් හැත්තෑවක් විතරයි.

Tuesday 6 April 2010

පුංචි පැලේ

අපි පුංචි ළමයින්ට චොකලට් පහක් බෙදනකොට සමහරුන්ට හිනා යනවා ඇති. පුංචි පැළ තමයි මහා රූස්ස ගස් බවට පත් වෙන්නේ. රුපියල් සීයක් ළඟ තියෙද්දී රුපියලක් දන් නොදෙන කෙනා, රුපියල් කෝටියක් තිබුණත් රුපියල් සීයක් දන් දෙන්නෙ නෑ. නම ප්‍රසිද්ධ වෙනවා නම් දන්‍ දෙන්න කට්ටිය පෝලිමේ යන්නේ. අපි ළඟදිම අන්ත දිළිඳු පවුල් වලට රුපියල් පන්දාහක පොලී රහිත ණයක් දෙනවා. වැසිකිළි නැති පවුල් වලට‍ වැසිකිළි හදලා දෙනවා. අඩි හතරක් දිග, අඩි හතරක් පළල පුංචි වැසිකිළියක් වත් නැති පවුල් දාස් ගාණක් මේ රටේ ඉන්නවා. පුළුවන් වුනොත් අපි දිළිඳු පවුල් වලට ගෙවලුත් හදලා දෙනවා. අපිට ඕනෙ නම ප්‍රසිද්ධ කරගන්න නෙමේ. සේවය කරන්නයි.

Thursday 1 April 2010

මූණ මල වගේ

වෙලාව දවල් එකයි දහයයි. පුංචි නංගි කෙනෙක් පාසල ඇරිලා ටවුන් එකේ තනියම එනවා. එයා හරිම කළුයි. පරණ බෑග් එකක් එයාට තිබුණේ. මම පස්සෙන් ගියා. එයා බස් හෝල්ට් එකක නැවතුනා. මම දුවලා ගිහින් දහයේ චොකලට් එකක් අරගෙන ඇවිත් එයාට දුන්නා. එදා ඉඳලා මම ඒ වෙලාවට පාර අයිනේ ඉඳලා හැමදාම එයාට චොක්ල‍ට් එකක් දුන්නා. තුන්වෙනි දවසේ ඉඳලා එයා යාළුවෙකුත් එක්ක ආවා. මම චොක්ලට් දෙකක් දෙන්නට දුන්නා. ඊළඟ දවසේ එයාලා ඈතින්ම දැක්කා මම ඉන්නවා. දෙන්නගෙ මූණ හිනාවෙන් පිරුණා. හරියට උදේ පිපුණු මල් දෙකක් වගේ.