Children Organization Lanka

Children Organization Lanka
Children Organization Lanka

Tuesday 30 March 2010

ස්මැක් නංගි

අම්මා‍ කෙනෙක් පුංචි නංගියෙකුත් එක්ක උදේ ටවුමට ආවා. එයාලා කඩවල් වලට ගිහින් නැතිබැරිකම කියලා කීය කීය හරි එකතු කරගෙන ඇවිද්දා. දවල් දොලහට විතර ඒ අම්මා දුවට මොනවා හරි අරන් දෙන්න සල්ලි මල්ලට අත දාලා සල්ලි ‍ටිකක් අරගෙන ගණන් කරලා කඩේකට යන්න හදනකොට මම ඒ නංගිට රුපියල් දහයක් දුන්නා. එයා හිනාවෙලා ඒක ගත්තා. අම්මා එයාට කූල් ස්මැක් පළතුරු බීම ‍බෝතලයක් අරන් දුන්නා. ඒ නංගි ඒක අත් දෙ‍කෙන්ම අල්ලගෙන ගිහින් බස් එකට නැංගා. මම දුවලා ගිහින් ජනේලෙන් එයාට තව රුපියල් විස්සක් දුන්නා. එයා අත වනලා යන්න ගියා.

Thursday 25 March 2010

එකම අභියෝගය

ළමයින්ට උදව් කරනකොට අපිට අභියෝග කීපයක් ජය ගන්න තියනවා.

1. ළමයි අපි දෙන දේවල් ගන්න කැමතියි. ඒත් බයයි. සමහරු ගන්න ලැජ්ජයි.
2. සමහර දෙමව්පියන්ගෙන් අපිට දොස් අහන්න සිද්ධ වෙනවා.
3. යමක් ලැබීමට සුදුසු ළමයා තෝරා ගැනීමේ අපහසුතාවයක් පවතිනවා.

අපේ සංවිධානයට ඇති තරම් සල්ලි තියෙනවා නම් මේ අභියෝග ඔක්කොම ජය ගන්න පුළුවන්.

1. පාසල් ළමයින්ට ඉතා අඩු මිලට බඩු විකුණන කුඩා වෙළෙඳසැල් කීපයක් ආරම්භ කරන්න පුළුවන්. බඩු විකුණන්නේ පාසල් ළමයින්ට විතරයි. රුපියල් දහයේ චොකලට් එකක් රුපියල් දෙකකට දෙනවා. රුපියල් දහතුනේ අයිස්ක‍්‍රීම් එකක් රුපියල් තුනකට දෙනවා. බිස්කට් එකක් ශත දහයකට දෙනවා.
2. ආර්ථික අපහසුතා ඇති ළමයින්ට ලිපි මගින් අපේ සංවිධානයෙන් උදව් ඉල්ලන්න අවස්ථාව සලස්වලා දෙනවා. එතකොට සපත්තු දෙක කැඩුණු දුප්පත් ළමයෙකුට අපට දන්වලා අලූත් සපත්තු දෙකක් ගන්න පුළුවන් වෙනවා. එතකොට ඕනෑම ළමයෙකුට තමන්ගේ දුක කියලා අපෙන් පිහිටක් ලබාගන්න පුළුවන් වෙනවා.

Tuesday 23 March 2010

හයි ස්කූල් නංගි

මම දවසක් පේරාදෙණිය බස් එකේ යනකොට කැන්ඩි ගර්ල්ස් හයි ස්කූල් එකේ පුංචි නංගි කෙනෙක් අම්මත් එක්ක බස් එකට නැග්ගා. නීල් ආම්ස්ට්‍රෝන් වගේ බෑග් එකක් පිටේ එල්ලාගෙන තිබුණා. මම බෑග් එක අතට අරගෙන එයාව මගේ ළඟින් ඉන්දවාගත්තා. එයා මාත් එක්ක කතාවට වැටුනා.

  • ඔයා කීයෙද ඉන්නේ?
  • හයේ පංතියේ
  • අපෝ... හයේ පංතියේ උනාට ඔයා පොඩි වැඞීනේ.....?
  • මම කන්නෙ නෑනේ.... ඒකයි උස යන්නෙ නැත්තේ.
  • කන්නෙ නැතුව ඉඳලා හරියන්නෙ නෑ. හොඳට කාලා ලොකු වෙන්න.
  • මම කොහොමත් කන්නෙ ටිකයි. අද මම ඉස්කෝලෙදි කවියක් කිව්වා. තාත්තා තමයි මට ඒක කියලා දුන්නේ.
  • ඔයාගෙ නම මොකක්ද?
  • චලනි මනෝකා
  • කීයෙද ඉන්නේ?
  • 6 ඞී
ඊට පස්සෙ එයාලා බැහැලා ගිය ගමන්ම මම එයාගෙ නම, පංතිය සෙල්ෆෝන් එකේ ටයිප් කර ගත්තා. මම පුංචි කතන්දර පොතක් එයාට තැපැල් කළා. පොතට ගියේ රුපියල් තිහයි. තැපැල් ගාස්තුවට රුපියල් තිස්පහක මුද්දර ගහන්න උනා.

Monday 22 March 2010

හැමෝම එකතු වෙමු

අපි වෙන වෙනම පුංචි ළමයින්ට කෑම ජාති අරන් දෙනකොට සමහර වෙලාවට අපිට බැනුම් අහන්න සිද්ධ වෙනවා. ඒකට පිළියමක් විදියට තමයි මේ සංවිධානය හැදුවේ. මමත් හතලිස් වතාවක් විතර උදව් කරන්න ගිහින් ලැජ්ජාවට පත් වෙලා තියනවා. ඒත් මම අධර්යමත් වුනේ නෑ. ඉදිරියටම ගියා. ළමයින්ගෙන් 93%ක් ම ආදරෙන් මාව පිළිගත්තා. මට අවමන් කළේ ළමයි 7% ක් විතරයි. එතකොට අපි අපේ වැඩසටහන නවත්තනවා කියන්නේ 90%ක බහුතරයකට කරන අසාධාරණයක්. ඔයාලා වෙන වෙනම දෙන්න ගිහින් පල් වෙන්න ඕනේ නෑ. මම ඒ අභියෝගය ජය ගත්තා. අපිත් එක්ක එකතු වෙන්න. ඒ වැඩ කොටස අපේ සංවිධානයට පවරන්න. සමාජයට ඇත්තටම සේවය කරන්න ඕනෙ නම් නින්දා අපහාස ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ.

ඒ අභියෝගය ජය ගන්න බැරි නිසා තමයි මේ ලෝකෙන් දුප්පත්කම තුරන් කරන්න බැරි. දුප්පතුන්ට සේවය කරන්න එන මිනිහට පළවෙනි ගල ගහන්නෙත් දුප්පතෙක්මයි. එයා එතැනින්ම දුප්පතුන් ගැන කළකිරෙනවා. මේක දුප්පතුන්ගෙ කරුමේ. ඒ කරුමෙ වෙනස් කරන්න පුළුවන් මම වගේ වීර්යවන්ත, ධෛර්යවන්ත, නොපසුබට උත්සාහය තියෙන කෙනෙකුට විතරයි. අපි ඔවුන්ට අනුකම්පා කරමු. ඔවුන්ට සේවය කරමු. පුංචි දරුවො අම්මට ගැහුවට, අම්මා දරුවන්ට ගහන්නෙ නෑනේ. අම්මා අනුකම්පාවෙන් දරුවා පෝෂණය කරනවා. රැකබලා ගන්නවා. අපි එකතුවෙලා, අභියෝග ජයගෙන ලෝකයට සේවය කරමු.

Friday 19 March 2010

දුක කියන්න

නංගියේ මල්ලියේ, ඔයාලාගේ දුක් කරදර අපිට ලියලා එවන්න. ඔයාලාගේ ඕනෑම දුකක් ලියන්න. මතක ඇතුව ඔයාලාගේ නම, ලිපිනය, ළඟම ඇති තැපැල් කන්තෝරුවේ නම ලියලා එවන්න. තියනවානම් දුරකථන අංකයත් ලියලා එවන්න.

අපේ ලිපිනය -
ක්‍රිශාන්ත පෙරේරා,
අංක. 1
වෙළෙඳ සංකීර්ණය I අදියර,
කච්චේරිය පාර,
කුරුණෑගල.

Thursday 18 March 2010

මිදි මල්ලි

මම දවසක් කාගිල්ස් ෆුඞ් සිටියෙන් මිදි ග‍්‍රෑම් සීයක් අරගෙන පාර අයිනට වෙලා කකා හිටියා. එක දුප්පත් පුංචි මල්ලි කෙනෙක් මම මිදි කනවා දැක්කා. එයා මගේ අතේ තිබුණ මිදි ගෙඩිය දිහා බලලා ඒ මිදි ගෙඩියට හිනා වෙලා බිම බලාගෙන ගියේ හරියට ''ලෝකෙ හැටි ඔහොම තමයි” කියන්නා වාගේ.

ලේ දීලා බඩගින්නේ

දවසක් මම පාර අයිනේ හිටගෙන හිටියා. අම්මෙකුයි, පුංචි පුතෙකුයි මගේ ළඟට ආවා. ඒ දෙන්නම හරියට කෙට්ටු වෙලා. හුඟක් දුක් විඳපු බවක් පෙනුනා. අම්මා මට මෙහෙම කිව්වා. ''පුතේ, දැන් මට ඉස්පිරිතාලෙන් ලේ දුන්නා. දොස්තර මහත්තයා කිව්වා හොඳට කන්න කියලා. හාල් සේරුවක්වත් ගන්න සල්ලි කීයක් හරි දෙනවද” කියලා. මම රුපියල් විස්සක් දුන්නා. හෝටලයකට එක්කගෙන ගිහින් කන්න දෙන්න හිතුනත්, මා ළඟ ඒ තරම් සල්ලි තිබුනේ නෑ.

Tuesday 16 March 2010

සහෝදරකම

නංගියේ, මල්ලියේ ඔයාලා‍ ඩෙවෝන් හෝටලේට ගිහින් රෝල්ස් එකක් කකා, අයිස් කෝපි එකක් බිබී ඉන්නකොට ඔයාලාගෙ නංගි හරි මල්ලි හරි ඒ හෝටලේ දොර ළඟට වෙලා ඔයාලා දිහා බලාගෙන හිටියොත් ඔයාලා මොකද කරන්නේ? දුවලා ගිහින් වඩාගෙන කවනවා, පොවනවා නේද. මම දවසක් පුෂ්පදාන බාලිකාව ළඟ තියන ඩෙවෝන් ‍හෝටලයෙන් රෝල්ස් එකක් කකා අයිස් කෝපි එකක් බිබී ඉන්නකොට පාසල් ගිය පුංචි මල්ලි කෙනෙක් ආච්චිත් එක්ක එතනින් ගියා. එයා මම කනවා දිහා බලාගෙන ගිය විදිය දැක්කාම දුවලා ගිහින් වඩාගෙන කවන්න ‍පොවන්න හිතුනා. එයා මගේම මල්ලි කෙනෙක් වගේ ඒ වෙලාවෙ මට දැනුනේ.

එයාගෙ ආච්චි නොහිටියා නම්, මම බීම එකක් හරි අරන් දෙනවා. මම දවස් ගානක් ඒ හෝටලේ ළඟ හිටියා. පාසල් ඇරිලා එන දුප්පත් පුංචි නංගිලා, මල්ලිලා ඒ ‍හෝටලේ පැත්ත වත් නොබලා බිම බලාගෙන යනවා. "බැලුවට වැඩක් නෑ. අපිට ඒවා ලැබෙන්නෙ නෑ" කියන්නා වගේ.

Monday 15 March 2010

ඉටිරෙදි නංගි

බදාදා පොළ ළඟ පාර අයිනේ ඉටි රෙද්දක් එලාගෙන ආච්චි කෙනෙකුයි, පුංචි නංගි කෙනෙකුයි ඉටිරෙදි විකුණනවා. මම කාරෙකෙන් බැහැලා ළඟට ගිහින් බැලුවා. වෙලාව දහය හමාරට විතර ඇති. පුංචි නංගි ආච්චිට කිව්වා කඩල මුලක් අරන් දෙන්න කියලා. ආච්චි කිව්වා ඉටි රෙද්දක් වික්කම අරන් දෙන්නම් කියලා. මම රුපියල් විස්සෙ කොළයක් ගුලි කරලා ආච්චිගෙ කකුල් දෙක ළඟට‍ හොරෙන් විසි කළා. ඊට පස්සෙ මම කිව්වා "ඔන්න සල්ලි වැ‍ටිලා" කියලා. එයා සල්ලි අහුලා ගත්තට පස්සෙ මම ආවා. ටික වෙලාවයි ගියේ මිනිස්සු දෙතුන් දෙනා වටවෙලා ඉටිරෙදි මිල දී ගන්න පටන් ගත්තා.

Saturday 13 March 2010

පාන් පෙත්ත

එක පවුලක අම්මයි, තාත්තයි, දරුවො හයදෙනෙකුයි හිටියා. එයාලට හරියට ආර්ථික අපහසුතා තිබුණා. දවසක් රෑ හතට විතර මේ කට්ටියට තාත්තගෙ යාලුවෙකුගෙ ගෙදර ගියා සල්ලි ටිකක් ඉල්ල ගන්න. ඒත් සල්ලි ලැබුනෙ නෑ. මේ අය පාන් බාගෙකුත් අරගෙන ගෙදර ආවා. අර පාන් බාගෙ අටට කපලා, පාන් පෙත්ත ගානේ කාලා, වතුර බීලා එයාලා නිදාගත්තා.

දුප්පත් අම්මා
තවත් දවසක් මම බස්එකේ යනකොට වයස හතලිහක විතර අම්මා කෙනෙක් කොට්ටයකුත් අරගෙන බස් එකට නැග්ගා. සමහරවිට එයාගෙ දරුවෙක් ඉස්පිරිතාලෙ නවත්වලා ඇති. ඒ වෙලාව දවල් එකොලහ හමාරයි. ඒ අම්මා බස් එකට සල්ලි දෙන්න පර්ස් එක ඇරියා. ඒ පර්ස් එක ඇතුලෙ තිබුණේ රැපියල් දහයක් විතරමයි. ඒ අම්මට කීයක් හරි දෙන්න මට හිතුනත් ඒ වෙලාවෙ මගේ ළඟ සල්ලි තිබුණෙ නෑ.

පුංචි සෙරෙප්පුව

එක අම්ම කෙනෙක්, වයස අවුරුදු තුනක පමණ දුවෙක් සමග හිඟා කාලා ජීවත් වුණා. හැමදාම එයාලා පාර අයිනේ තාප්පෙ ළඟ ඉන්නවා. ඒ පුංචි දුව වැස්සට තෙමුණා, අව්වට වේළුනා. සෙරෙප්පු දෙකක් වත් නැතිව අපිරිසිදු පොළොවේ ඇවිදිනවා දැකපු මම එයාට ලස්සන පුංචි සෙරෙප්පු දෙකක් අරං දුන්නා. රුපියල් එකසිය හැත්තෑවක් ගියා. සෙරෙප්පුව උඩ ලස්සන පූසෙකුගෙ රූපයක් තිබුණා. එයා ආසාවෙන් ඒක දාගෙන එහාට මෙහාට ගියා.
ඒත් එදායින් පස්සේ ඒ අම්මා පාරේ හිඟා කනවා දකින්න හිටියෙ නෑ. පිට මිනිස්සුත් තමන්ගෙ දුවට මේ තරම් ආදරය දක්වනකොට අම්මා කෙනෙක් විදියට එයාටම ලැජ්ජා හිතෙන්න ඇති. දුවගේ අනාගතය වෙනුවෙන් එයා පිළිවෙලක් වෙන්න හිතන්න ඇති.

Wednesday 10 March 2010

පාසල් ළමයින්ගේ සංවිධානය

නංගියේ, මල්ලියේ, පාසල් යන ළමයි එකතු වුනොත් අපිට මේ ‍ලෝකය සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන්. මගේ සංවිධානය නිල වශයෙන් ආරම්භ කළේ 2010-02-24 වෙනිදා රුපියල් තිහකින්. මම රුපියල් දහයේ කොළ තුනක් පාසල් ඇරිලා එන පුංචි නංගිලා තුන්දෙනෙකුට දුන්නා. ඒ අය උනන්දුවෙන් ඒ සල්ලි ගත්තා. එදා ඉඳලා දිනපතාම රුපියල් දහයේ රිට්ස්බරි චොකලට් පහක් මම පාසල් ළමයින්ට පරිත්‍යාග කරනවා. අපේ රටේ පෝසත් නංගිලා, මල්ලිලා මාත් එක්ක එකතු උනොත් අපිට ගොඩක් වැඩ කරන්න පුළුවන්. මේ රටේ ගොඩක් දුප්පත් නංගිලා, මල්ලිලා විශාල පිරිසකගේ කඳුළු පිසින්න අපිට පුළුවන් වෙයි. ඔයාලා නිරපරාදේ වියදම් කරන මුදල් එකතු කරන්න. ඊට පස්සේ අපිත් එක්ක එකතු වෙලා ළමයින්ට සේවය කරන්න. රුපියල් තිහකින් ආරම්භ උන මේ පුංචි සංවිධානය ඉදිරියේ දී මුළු ලෝකයටම සේවය කරන මහා සංවිධානයක් බවට පත් කරන්න අධිෂ්ඨාන කර ගන්න.

Sunday 7 March 2010

ආත්මාර්ථය

පුංචි කාලෙ ඉඳලම ළමයින්ට දෙන්න පුරුදු කරන්න ඕනේ. අවවාද කරලා නෙමේ. ආදර්ශයෙන්ම පෙන්වන්න ඕනේ. පරාර්ථකාමීත්වය තුළින් සමාජය පෝෂණය වෙනවා. සමාජයේ ඉන්නේ පරාර්ථකාමී අය නම්, ඒ සමාජයේ ඉන්න ධනපතියො දුප්පතුන්ට ධනය දෙනවා. එවිට රටේ දිළිඳුකම, සාගතය, පීඩිත බව නැති වෙනවා.

තියන අය දෙනවා. නැති අය ගන්නවා. නැති අය, ඇති හැකි අය බවට පත් වෙනවා. ඊට පස්සෙ එයාලත් දෙන්න පටන් ගන්නවා. හරියට රක්ෂණ ක්‍රමයක් වගේ. තියෙන අය හැමෝම දෙනවා. නැති හැමෝටම ලැබෙනවා.

මම පුංචි කාලෙ නවයේ පංතියේ ඉන්නකොට තාත්තගෙ පැත්තෙ නෑදෑයො එක්ක විනෝද චාරිකාවක් ගියා. මම රුපියල් පන්සීයක් මාරු කරලා, දෙකේ කාසි මල්ලක් හදා ගත්තා. චාරිකාව යනකං පාරේ හිටපු පුංචි ළමයි ළඟට කාසි විසි කරමින් ගියා. ආපසු ගෙදර ආවම බාප්පා මේ සිදුවීම තාත්තාට කිව්වා. මගේ තාත්තා මට සැරෙන් මෙහෙම කිව්වා. "දුප්පතුන්ට සල්ලි විසිකරන්න.....? මොකද රජවරුද.....?" කියලා.

ගම්බද පාසලක ක්‍රීඩා උත්සවයක් බලන්න දවසක් මම ගියා. ළමයි අයිස්ක්‍රීම් කාරයාගෙන් අයිස්ක්‍රීම් අරන් කනවා. එක පුංචි නංගි කෙනෙක් අයිස්ක්‍රීම් කාරයා දිහා බලාගෙන හිටියා. කොයි වෙලේ හරි ඒ මාමා එයාට අයිස්ක්‍රීම් එකක් දෙයි කියන බලාපොරොත්තුවෙන් එයා හුඟක් වෙලා බලාගෙන හිටියා. මම අයිස්ක්‍රීම් එකක් අරන් ඒ පුංචි නංගිට දුන්නා. එයා අත් දෙකෙන්ම ඒක අරගෙන වැට අයින‍ට ගිහින් කෑවා.

දවසක් මම බස් එකේ යනකොට පුංචි නංගි කෙනෙක් ම‍ගේ ළඟින් ඉඳගත්තා. එයාගෙ බෑග් එක ඉරිලා තිබුණා. ගවුමත් ‍හොඳටම දිරලා තිබුණා. මම එයාට රුපියල් 20ක් දුන්නා. එයා උදුරලා වාගේ ඒක අරගත්තා. බහින තැන ළං වුනාම මගේ දිහා බලන්නෙවත් නැතුව බැහැලා දුවගෙන ගියා.

අම්බලංගොඩ, කරන්දෙණිය හරියේ පාර අයිනේ මම දවසක් හිටගෙන හිටියා. වයස දහසයක විතර නංගි කෙනෙක් නාන්න ළිඳ ළඟට ගියා මම දැක්කා. "අම්මේ, සබන් නැද්ද?" "සබන් නම් ඉවරයි" "අයියෝ නාන්නෙ කොහොමද?" ඒ නංගි සබන් නොගා නෑවා. ඒ තරම් දුප්පත් අය ඕනෑ තරම් මේ රටේ ඉන්නවා.

ආයුබෝවන්...

මේ ලෝකෙ මිනිස්සු හරිම ආත්මාර්ථකාමී වෙලා. කොච්චර ආත්මාර්ථකාමී වෙලාද කියනවා නම්, අනුන්ගේ දරුවා කන දේ උදුරලා අරං තමන්ගේ දරුවට කන්න දෙන්න තරම් ආත්මාර්ථකාමී වෙලා. අලුත් පරම්පරාව මේ උවඳුරෙන් මුදවා ගැනීම මගේ යුතුකමක්, වගකීමක් කියල මට හිතෙනවා.

ඒ ගැන මගේ අත්දැකීම් සහ අදහස්, යෝජනා ඔයාලා එක්ක බෙදා හදා ගන්න මම තීරණය කළා. ඔයාලා මාත් එක්ක දිගටම රැඳී ඉඳීවි කියලා මම බලාපොරොත්තු වෙනවා. මගේ අත්දැකීම් ගැන ඔයාලා හිතන දේවල්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.

මම
ක්‍රිශාන්ත පෙරේරා